2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය. ඊයේ (01) කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ජයග්‍රහණයේ නියමුවා වූයේ සැන්ජු සැම්සන්ය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. රෝස්ටන් චේස් ලකුණු 40ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 37ක් ලබා ගත්හ.
ලකුණු 196ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවේ මුල් කඩුලු දෙක ලකුණු 41කට දැවී ගියද, සැන්ජු සැම්සන් වගකීම කරට ගෙන පන්දු 50කදී නොදැවී ලකුණු 97ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. මෙය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ හඹා යාමකදී ඉන්දීය පිතිකරුවෙකු ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත්වලට එක් විය.
තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්, සැන්ජු සැම්සන් වෙත ගොස් සිය හිස්වැසුම ගලවා ආචාර කරමින් (Bow down gesture) ඔහුට උපහාර දැක්වීම කාගේත් අවධානයට ලක් විය. ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණය පුරා ‘Maa Tujhe Salaam’ ගීතය වාදනය වෙද්දී සැම්සන් දණහිසින් හිඳගෙන දෙවියන්ට ස්තූති කරමින් සිය ජයග්‍රහණය සැමරීය.
ඉන්දියාව දැන් ලබන බ්‍රහස්පතින්දා (05) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.















