ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් අද (02) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරාකයේ ක්‍රියාත්මක ශියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායමක් වන ‘සරයා අව්ලියා අල්-දම්’ (Saraya Awliya al-Dam) මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, මෙය කමේනිගේ මරණයට එරෙහිව දියත් කරන පළිගැනීමේ මෙහෙයුම්වල තවත් එක් පියවරක් බව ඔවුන් පවසයි.
මෙම සන්නද්ධ කණ්ඩායම 2003 වසරේ අමෙරිකාව ප්‍රමුඛ හමුදා ඉරාකයට ඇතුළු වීමෙන් පසු එරට බිහි වූ ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි කිහිපයෙන් එකකි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ හෝ ඉරාක රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ප්‍රහාරයෙන් සිදු වූ හානිය පිළිබඳව ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරාකයේ මෙම සන්නද්ධ කණ්ඩායම් ද ගැටුමට සෘජුව මැදිහත් වීම නිසා මැදපෙරදිග කලාපය පුරා යුද්ධය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම තත්ත්වය හමුවේ ඉරාකයේ සහ ඒ අවට කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ද දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, පවතින ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින් තානාපති කාර්යාල සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන ලෙසත් රජය මීට පෙර නිවේදනය කළේය.















