මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ එහි සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරටට ගෙන්වා ගන්නා තෙක් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු වැඩසටහන්වලට රජයේ පූර්ණ සහය ලබා දෙන බව කැබිනට් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අවධාරණය කරයි. විදේශ රැකියා නියුක්ත කාන්තාවන්ගේ සුභසාධනය සහ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා මෙම ආරක්ෂක වැඩපිළිවෙලවල් සම්බන්ධීකරණය කරන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ශ්‍රමිකයින්ගේ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කරන ලෙසත්, හදිසි අවස්ථාවකදී ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අර්බුදකාරී සමයේ විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්, රජය ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව ඔවුන්ගේ නිරුපද්‍රිතභාවය තහවුරු කිරීමට කැපවී සිටින බවත් අමාත්‍ය පෝල්රාජ් මහත්මිය සහතික කළාය. අවශ්‍යතාවය පරිදි ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ද කඩිනම් කරන බව රජයේ ස්ථාවරයයි.














