2021 වසරේ සතොස ආයතනය සතු සුදුලූනු කිලෝග්‍රෑම් 54,860 ක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු මුදලකට අලෙවි කිරීමෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට (17,006,660) අධික පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියේ පස්වන සැකකාර ව්‍යාපාරිකයාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පෙබරවාරි 20 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය සඳහා සැකකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අවසර ලබා දුන්නේය. මෙම සහනය ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක අමතර ශරීර ඇපයක් ද සැකකරුට නියම විය.
ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර තිබූ සුදුලූනු බහාලුම් දෙකක් සහන මිලට ජනතාවට ලබාදීම සඳහා එවක අමාත්‍යවරුන් වූ බන්දුල ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණි. එසේ තිබියදීත්, සතොස නිලධාරීන් විසින් කිලෝවක් රුපියල් 445 කට අලෙවි කළ යුතු මෙම සුදුලූනු තොගය රුපියල් 135 වැනි ඉතා අඩු මුදලකට “එස්.එන්. එන්ටර්ප්‍රයිසස්” නමැති පෞද්ගලික ආයතනයට අලෙවි කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සතොස හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි ප්‍රියන්ත පෙරේරා සහ ව්‍යාපාරිකයන් වන දීපාක් කෘෂ්ණා කුමාර් සහ සොහාල් කුමාර් යන අය මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ. විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කර සිටියේ මෙම සුදුලූනු තොගය නරක් වීමට ආසන්නව තිබූ බැවින් එය ආයතනික තීරණයක් මත විකුණා ඇති බවයි.














