ඉරානය සහ ඇමරිකානු-ඊශ්‍රායල හවුල්කාරීත්වය අතර පවතින යුද ගැටුම් මැදපෙරදිග පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, සවුදි අරාබියේ අල්-ඛර්ජ් (Al-Kharj) නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් විදේශිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ ඉන්දියානු සහ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු බවත්, තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සවුදි බලධාරීහු තහවුරු කරති.
ඇමරිකානු හමුදා කඳවුරු පවතින ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කරගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් එල්ල කරන මෙම ප්‍රතිප්‍රහාර මේ වන විට දෙවැනි සතියටත් ක්‍රියාත්මක වේ. මෙම ප්‍රහාරය එල්ල වූ අල්-ඛර්ජ් ප්‍රදේශයේ ඇමරිකානු හමුදා භාවිතා කරන ‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුර පිහිටා ඇත. මීට අමතරව, කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකි වෙත සහ බහරේනයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයකට ද ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
තවමත් මෙම යුදමය තත්ත්වය පාලනය වී නොමැති අතර, ඉදිරි මාස හයක කාලයක් දක්වා මෙලෙස මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය පහසුකම් තමන් සතු බව ඉරානය ප්‍රකාශ කර තිබේ. පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් පසු මේ වන විට එරට සිවිල් වැසියන් 1,200ක් පමණ මියගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.














