සෞදි අරාබියේ නැගෙනහිර කලාපය (Eastern Region) ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලස්ටික් මිසයිල හතක් සාර්ථකව හඳුනාගෙන විනාශ කිරීමට සිය ආරක්ෂක අංශ සමත් වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය අද (07) නිවේදනය කළේය. විනාශ කරන ලද මිසයිලවල සුන්බුන් එරට ප්‍රධාන බලශක්ති පද්ධති සහ මධ්‍යස්ථාන අසලට පතිත වී ඇති අතර, ඉන් සිදුවූ හානිය පිළිබඳව මේ වන විට ගණන් බලාමින් පවතින බව වාර්තා වේ.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුදමය වාතාවරණය හමුවේ, ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටි ගල්ෆ් කලාපයේ රටවල් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය විසින් සෞදි අරාබිය දෙසට මිසයිල සහ ඩ්‍රෝන සිය ගණනක් එල්ල කර ඇති බවත්, ඉන් බහුතරයක් ගුවනේදීම විනාශ කිරීමට සෞදි ආරක්ෂක පද්ධති සමත් වූ බවත් එරට බලධාරීන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් අද දින එල්ල වූ මෙම ප්‍රහාරය කවුරුන් විසින් මෙහෙයවන ලද්දක්ද යන්න සෞදි රජය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.















