මැදපෙරදිග කලාපීය ගැටුම් ආරම්භ වී සති තුනක් ගතවන අවස්ථාවේදී, සවුදි අරාබිය ඉරානය වෙත සිය ප්‍රබලතම අනතුරු ඇඟවීම අද (මාර්තු 19) නිකුත් කර තිබේ. රියාද් නුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සවුදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු (Prince Faisal bin Farhan Al Saud) ප්‍රකාශ කළේ, තම රට සතුව ඉතා ඉහළ හමුදාමය ශක්තියක් සහ හැකියාවක් පවතින බවත්, අවශ්‍ය වුවහොත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට සවුදි අරාබිය පසුබට නොවන බවත්ය.
සවුදි විදේශ අමාත්‍යවරයා චෝදනා කරන්නේ ඉරානය විසින් සෘජුව සහ සිය හිතවාදී කණ්ඩායම් (Proxies) හරහා ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි. විශේෂයෙන්ම පසුගිය දිනවල එල්ල වූ ප්‍රහාරවල පවතින නිරවද්‍යතාවය (Accuracy) දෙස බැලීමේදී ඒවා කලින් සැලසුම් කළ සහ සංවිධානාත්මක ප්‍රහාර බව පැහැදිලි වන බව ඔහු පෙන්වා දෙයි. ඉරානයේ මෙම පීඩනය දේශපාලනිකව සහ සදාචාරාත්මකව ඔවුන්ටම පාරාවළල්ලක් වනු ඇති බවත්, තම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම මොහොතක හමුදාමය ප්‍රතිචාරයක් දැක්වීමට සවුදි අරාබිය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වී ඇති අතර, එය ලෝක බලශක්ති සැපයුමට සහ වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති. විශේෂයෙන්ම අබුඩාබි සහ ඩුබායි වැනි අසල්වැසි නගරවල ආරක්ෂාව පිළිබඳව ද මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.
















