මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දැඩි බිඳවැටීමක් පෙන්නුම් කරමින්, එරට සිටින ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට පැය 24ක් ඇතුළත සෞදි භූමියෙන් පිටවන ලෙස සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (23) නිල වශයෙන් දැනුම් දී තිබේ. ඉරානය විසින් දිගින් දිගටම සෞදි අරාබියට සහ ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවලට එල්ල කරන ප්‍රහාර මෙම දැඩි තීරණයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස, ඉරානය විසින් ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන පවතින සෞදි අරාබිය සහ එහි අසල්වැසි රටවල් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සිය ගණනක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරවලින් සෞදියේ සිවිල් මධ්‍යස්ථාන සහ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති අතර, එය ගෝලීය බලශක්ති වෙළඳපොළට ද අහිතකර ලෙස බලපා ඇත. ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් සංචිත හිමි සෞදි අරාබිය පවසන්නේ, ඉරානය කෙරෙහි පවතින විශ්වාසය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු අවධාරණය කර ඇත්තේ, තම රට ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය තහවුරු කරන බවත්, ඉරානය පවසන “ඉස්ලාමීය සහෝදරත්වය” ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් පිළිබිඹු නොවන බවත්ය. කලාපය පුරා අවුල් සහගත තත්ත්වයක් මතු කරමින් සිදු කෙරෙන මෙම ආක්‍රමණශීලී ක්‍රියා හමුවේ මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැඩි පියවර ගැනීමට සෞදිය පෙළඹී ඇත. මීට පෙර කටාර් රාජ්‍යය ද මෙවැනිම ක්‍රියාමාර්ගයක් ගනිමින් ඉරාන හමුදා නිලධාරීන් සිය රටින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.














