ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. මෙයට පිළියමක් ලෙස සෞදි අරාබිය සිය දෛනික තෙල් නිෂ්පාදනය අපනයනය කිරීම සඳහා කිලෝමීටර් 1,200ක් දිගු ‘නැගෙනහිර-බටහිර’ (East-West) නල මාර්ගය උපරිම ධාරිතාවයෙන් භාවිතා කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක්ම ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය යුද්ධය නිසා අවහිර වීම ගෝලීය බලශක්ති සැපයුම් ජාලයට මෙන්ම තෙල් මිල ඉහළ යාමට ද සෘජුවම බලපා ඇත. මෙයට විසඳුමක් ලෙස 1980 දශකයේදී ඉරාන-ඉරාක යුද්ධය පැවති සමයේ ඉදිකරන ලද මෙම නල මාර්ගය යළි සක්‍රීය කිරීමට සෞදිය පියවර ගනිමින් සිටියි. මෙමගින් දිනකට තෙල් බැරල් මිලියන 7ක් රතු මුහුදේ පිහිටි යාන්බු (Yanbu) වරාය වෙත සෘජුවම ප්‍රවාහනය කළ හැකි අතර, එමගින් හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහැර යාමට හැකියාව ලැබේ.
බලශක්ති විශේෂඥයන් මෙම පියවර හඳුන්වන්නේ “සුපිරි මොළයක සැලසුමක්” (Genius masterstroke) ලෙසයි. මීට පෙර මෙවැනි නල මාර්ග ව්‍යාපෘති විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබුණ ද, වත්මන් යුදමය වාතාවරණය හමුවේ එය “මෙහෙයුම් යථාර්ථයක්” (Operational reality) බවට පත්වෙමින් තිබේ. සෞදි අරාබිය සිය දෛනික තෙල් නිෂ්පාදනය වන බැරල් මිලියන 10.2ම ආරක්ෂිතව ලෝක වෙළඳපොළට මුදා හැරීම සඳහා විකල්ප මාර්ග සෙවීම ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීමට ද ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














