සෞදි අරාබියේ ගුවන් සීමාව ඉලක්ක කරගනිමින් පසුගිය පැය කිහිපය තුළ එල්ල වූ සතුරු ඩ්‍රෝන යානා 07 ක් සාර්ථකව හඳුනාගෙන විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත්ව තිබේ. සෞදි ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය (SPA) අද (03) මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.
සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් තුර්කි අල්-මල්කි (Turki Al-Malki) සඳහන් කළේ, රාජ්‍යයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති උපරිම සෝදිසියෙන් පසුවන බවයි. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ සෞදි අරාබිය සිය ගුවන් සීමාවේ ආරක්ෂාව දැඩි කර ඇති අතර, සිවිල් වැසියන් සහ වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන ලද්දේ කුමන පාර්ශවයක් විසින්ද යන්න පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, කලාපීය ගැටුම් උත්සන්න වීමත් සමඟ මෙවැනි ප්‍රහාර ඉහළ ගොස් ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














