ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි ඇරම්කෝ (Saudi Aramco) සමාගම, අඛණ්ඩව දෙවැනි මාසයටත් ලබන අප්‍රේල් මාසයේදී ආසියානු ගැනුම්කරුවන් වෙත ලබා දෙන බොරතෙල් සැපයුම සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන වෙළඳ ගනුදෙනුවලට එල්ල වී ඇති බාධා මීට ප්‍රධාන හේතුව වී ඇත.
සෞදි අරාබිය සිය අපනයන කටයුතු රතු මුහුදේ පිහිටි යාන්බු (Yanbu) වරාය හරහා සිදු කිරීමට උත්සාහ කළද, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අපොහොසත් වී තිබේ. කේප්ලර් (Kpler) දත්ත විශ්ලේෂණ ආයතනයට අනුව, පෙබරවාරි මාසයේදී දිනකට බැරල් මිලියන 7.108ක්ව පැවති සෞදි බොරතෙල් අපනයනය මාර්තු මාසය වන විට දිනකට බැරල් මිලියන 4.355ක් දක්වා 40%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇත.
මෙම සැපයුම් කප්පාදුව හේතුවෙන් ආසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථානවල නිෂ්පාදන ධාරිතාව සීමා වී ඇති අතර, එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන ඉන්ධන තොග තවදුරටත් ප්‍රමාද වීමට හෝ මිල ඉහළ යාමට සෘජුවම බලපෑ හැකිය. විශේෂයෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා යාන්බු වරායේ පිහිටි සැම්රෙෆ් (SAMREF) පිරිපහදුවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ද තෙල් පැටවීමේ කටයුතුවලට බාධාවක් විය.














