අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ටෙහෙරානය විසින් කලාපය පුරා දියත් කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවක කොටසක් ලෙස සෞදි අරාබියේ ‘රස් තනුරා’ (Ras Tanura) පිරිපහදුව ඉලක්ක කර අද (02) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ආරක්ෂක පියවරක් ලෙස සෞදි අරාම්කෝ (Aramco) සමාගම එම පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත.
ඉරානයේ නිපදවන ලද ‘Shahed-136’ වර්ගයේ ඩ්‍රෝන යානයක් මගින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉන් පිරිපහදු සංකීර්ණයේ කුඩා ගින්නක් හටගෙන තිබේ. සෞදි ආරක්ෂක අංශ පවසන්නේ එම ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි.
දිනකට බොරතෙල් බැරල් 550,000ක් පිරිපහදු කිරීමේ හැකියාව ඇති මෙම මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (Brent Crude) සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. අද දිනයේ තෙල් මිල සියයට 9කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එක් බැරලයක මිල ඩොලර් 80 සීමාවට පැමිණ තිබේ.
හමුදා මෙහෙයුම් හේතුවෙන් ලොව තෙල් සැපයුමෙන් සියයට 20ක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනය ද අඩාල වී ඇත. ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය නිල වශයෙන් වසා නොමැති වුවද, ආරක්ෂක හේතූන් මත නැව් හිමියන් සිය ගමන් වාර අත්හිටුවා ඇති බව වාර්තා වේ.















