සෞදි අරාබියේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එරට දෛනික බොරතෙල් නිෂ්පාදන ධාරිතාව බැරල් 600,000කින් පමණ පහත වැටී ඇති බව සෞදි බලශක්ති අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරයි. මීට අමතරව හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමක සෞදියේ ප්‍රධාන තෙල් අපනයන මාර්ගය බවට පත්ව තිබූ නැගෙනහිර-බටහිර නළ මාර්ගයේ ප්‍රවාහන ධාරිතාව ද දිනකට බැරල් 700,000කින් පමණ අඩුවී තිබේ. මෙහිදී මනීෆා තෙල් නිධියට එල්ල වූ ප්‍රහාරයෙන් දිනකට බැරල් 300,000ක නිෂ්පාදනයක් අහිමි වී ඇති අතර කුරයිස් පහසුකමට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් බැරල් 300,000ක නිෂ්පාදනයක් අඩුවීම නිසා සමස්ත නිෂ්පාදන ධාරිතාව බැරල් 600,000කින් පහත වැටී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
නැගෙනහිර-බටහිර නළ මාර්ගයේ එක් පොම්පාගාරයකට ප්‍රහාර එල්ල වීම නිසා එහි තෙල් ප්‍රවාහනය දිනකට බැරල් 700,000කින් අඩුවී ඇති අතර මේ වන විට හොර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වී ඇති බැවින් ලෝක වෙළඳපොළට තෙල් සැපයීමට තිබූ ප්‍රධාන විකල්ප මාර්ගය මෙයයි. මෙම ප්‍රහාර ජුබයිල්, රාස් තනුරා, යාන්බු සහ රියාද් යන ප්‍රදේශවල පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන රැසකට ද දැඩි හානි පමුණුවා ඇති අතර ස්වභාවික වායු සහ ද්‍රව පෙට්‍රෝලියම් වායු අපනයනය කරන මධ්‍යස්ථානවල ද ගිනිගැනීම් වාර්තා වී තිබේ. මෙම ප්‍රහාරවලින් සෞදි ජාතික ආරක්ෂක නිලධාරියෙකු මියගොස් තවත් සේවකයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි පුවත් ඒජන්සිය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත් මෙවැනි ප්‍රහාර එල්ල වීම ගෝලීය බලශක්ති සැපයුමට දැඩි තර්ජනයක් වී තිබේ.














