ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි තර්ජනය හමුවේ, එය බලහත්කාරයෙන් හෝ විවෘත කිරීමට සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන මෙම උපාය මාර්ගික මුහුදු මාර්ගය ඉරානය විසින් පාලනය කිරීම නිසා ගෝලීය බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙම අර්බුදය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඒකාබද්ධ හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. ඒ සඳහා සිය පූර්ණ හමුදා දායකත්වය ලබා දීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇති අතර, ඉරානය පාලනය කරන අබු මූසා වැනි දූපත් අමෙරිකානු හමුදා භාරයට ගන්නා ලෙස ද යෝජනා කර තිබේ.
සවුදි අරාබිය, කුවේටය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් එක්ව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ තමන්ට ස්වයං ආරක්ෂාව සඳහා ඕනෑම පියවරක් ගැනීමේ අයිතිය ඇති බවයි. මීට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට අවසර දෙන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විශේෂ ඡන්ද විමසීම අද දින පැවැත්වීමට නියමිතය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මීට පෙර අවධාරණය කළේ එළඹෙන අප්‍රේල් 06 වනදා වන විට මෙම මුහුදු මාර්ගය විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි. ඉරානය දැනටමත් තෝරාගත් රටවලට පමණක් නිදහස් ගමනාගමනය ලබා දෙමින් පවතින අතර, සවුදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි කලාපීය බලවතුන් අමෙරිකාව සමඟ එක්ව හමුදාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත් එය සමස්ත මැදපෙරදිගම මහා පරිමාණ යුද්ධයකට ඇද දැමීමක් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පවසති.














