දැඩි හිරු රශ්මිය සහිත පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ පාසල් දරුවන් ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමේදී දෙමාපියන් සහ ගුරුවරුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ අවදානම් මතු විය හැකි බැවින් පාසල් ක්‍රීඩා උත්සව සහ පුහුණු සැසි පැවැත්වීමේදී පූර්ව ආරක්ෂිත පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි. විශේෂයෙන්ම හිරු රශ්මිය ඉතා තදින් පවතින පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ එළිමහන් ක්‍රීඩා කටයුතු අවම කළ යුතු බවත්, දරුවන්ට නිරන්තරයෙන් විවේකය ලබා දීම සහ සෙවන සහිත සිසිල් ස්ථානවල ඔවුන් රඳවා තැබීම වැදගත් වන බවත් වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සාමාන්‍යයෙන් දරුවන් එක දිගට ක්‍රීඩා කිරීමට රුචිකත්වයක් දැක්වුවද, පවතින කාලගුණය යටතේ එලෙස ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතු අතර නිසි කාල පරාසයන් තුළ ඔවුන්ට ජලය හෝ ලවණ අඩංගු පාන වර්ග පානය කිරීමට ලබා දිය යුතුය. ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකර සහ විවේකයක් නොමැතිව අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් අධික විඩාව, කරකැවිල්ල සහ මාංශ පේශි පෙරළීම වැනි සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරයා අනතුරු අඟවයි. යම් හෙයකින් දරුවෙකු ක්ලාන්ත ගතිය, දුර්වල බව හෝ ව්‍යාකූල ස්වභාවයක් පෙන්වන්නේ නම් වහාම එම දරුවා සිසිල් ස්ථානයකට රැගෙන ගොස් ජලය ලබා දිය යුතු අතර, තත්ත්වය සමනය නොවන්නේ නම් හැකි ඉක්මනින් ආසන්නතම රජයේ රෝහල වෙත යොමු කළ යුතුය. නිසි ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් මෙම තත්ත්වය ජීවිතයට පවා තර්ජනයක් විය හැකි ‘සූර්ය නිර්ඝාතය’ (Heatstroke) දක්වා වර්ධනය විය හැකි බව වෛද්‍ය චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














