රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අවශ්‍යතාව හමුවේ වුවද, පාසල් පැවැත්වීම සීමා කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අභිලාෂය බවයි.
අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි, මෙම පාසල් වාරය අප්‍රේල් මස 10 වන දින අවසන් වීමට නියමිතව ඇති අතර, එතෙක් සතියේ බදාදා දිනවල පමණක් පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇත. පසුගිය කාලසීමාව පුරා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතභාවය සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද දැඩි පීඩනයක් වූ බැවින්, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා සතියේ දින 4ක් පාසල් පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.












