ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය ගංගා වැලි මිල අධික ලෙස ඉහළ යාම සහ පවතින හිඟය මඟහරවා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රියාදාමයන් ඔස්සේ නිෂ්පාදිත විකල්ප වැලි වර්ග භාවිතය නිර්දේශ කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත මහතා පවසයි. ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ නිෂ්පාදිත වැලි (M-Sand), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines) සහ පිරිසිදු කරන ලද අක්වෙරළ වැලි (Offshore Sand) මේ සඳහා යෝග්‍ය බවයි. මෙම සියලු ද්‍රව්‍ය පොදුවේ හැඳින්වීම සඳහා “සියුම් සමාහාරක” (Fine Aggregate) යන තාක්ෂණික නාමය හඳුන්වා දී තිබේ.
ගංගා වැලි කියුබ් එකක මිල රුපියල් 35,000ක් දක්වා ඉහළ යාම නිසා ඉදිකිරීම් පිරිවැය දැඩි ලෙස වැඩි වී ඇති අතර, අධික ලෙස වැලි ගොඩදැමීම හේතුවෙන් ගංගා ජල මට්ටම පහළ බැස මුහුදු ජලය ගංගාවලට මිශ්‍ර වීමේ පාරිසරික ගැටලු ද උද්ගත වී ඇත. මේ හේතුවෙන් පානීය ජලය ලවණ වීම වැළැක්වීමට සහ පරිසරය සුරැකීමට විකල්ප වැලි භාවිතය අත්‍යවශ්‍ය වී තිබේ. කෙසේ වෙතත් ගංගා වැලි භාවිතය තහනම් කර නොමැති අතර, ඉදිරියේදී රජයේ ඇස්තමේන්තු සකස් කිරීමේදී මෙම විකල්ප ද්‍රව්‍ය ද ඇතුළත් කළ හැකි පරිදි නීතිමය පසුබිම සකස් කරන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එස්.එම්.ඒ. නානායක්කාර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිතියට (SLS) අනුකූල ඕනෑම විකල්ප වැලි වර්ගයක් ඉදිකිරීම් සඳහා ආරක්ෂිත බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇති බවයි. තාක්ෂණික දැනුම නොමැතිකම නිසා බොහෝ දෙනා විකල්ප භාවිතයට මැළිකමක් දැක්වුවද, ගංගා වැලිවලට සමාන ශක්තියක් මෙම නිෂ්පාදිත වැලි මඟින් ලබාගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි වසර දෙක තුළ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් අපේක්ෂා කරන බැවින්, පවතින වැලි අවශ්‍යතාව සපුරා ගැනීමට ජනතාව මෙම විද්‍යාත්මක විකල්ප කෙරෙහි යොමු වීම වැදගත් වේ.














