ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඉදිරි හමුවක් පිළිබඳව නවදිල්ලියේ පිහිටි ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් මහතා අද (20) ඉඟියක් ලබා දුන්නේය. 2026 ඉන්දීය කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුවට (India AI Impact Summit 2026) එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම හමුව සිදුවන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, එය නියමිත මොහොතේදී සිදුවනු ඇති බවයි.
තානාපති ගෝර් විසින් ‘Pax Silica’ සන්ධානයේ සමාරම්භක සාමාජිකයෙකු ලෙස ඉන්දියාව නිල වශයෙන් පිළිගනු ලැබීය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර පවතින මෙම හවුල්කාරිත්වය දැන් “සීමා රහිත” (Limitless) මට්ටමකට වර්ධනය වී ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
දිල්ලියේ පැවති AI සමුළුව ඉතා ප්‍රබල බලපෑමක් ඇති කරන එකක් බවත්, දෙරට අතර තාක්ෂණික ක්ෂේත්‍රය තුළ විශාල අවස්ථා පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. මීට පෙර දෙරට අතර වෙළෙඳ තීරුබදු සම්බන්ධයෙන් පැවති යම් යම් නොසන්සුන්තා දැන් සමනය වී ඇති බව වාර්තා වේ.
නායකයන් දෙදෙනා අවසන් වරට වොෂින්ටන් ඩී.සී. හිදී නිල වශයෙන් හමුවී දැන් වසරකට ආසන්න කාලයක් ගතවී තිබේ. දෙරට අතර නව වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව තවමත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති වුවද, තාක්ෂණික සහ ආරක්ෂක සබඳතා දැඩි වෙමින් පවතින බව විදේශ ප්‍රතිපත්ති විචාරකයෝ පෙන්වා දෙති.














