ගාල්ල, දංගෙදර ප්‍රදේශයේ පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම සිසුන්ගේ මව්පියන් හත්දෙනෙකු (07) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සිටින බව පොලිසිය තහවුරු කරයි.
පසුගිය පෙබරවාරි 19 වැනිදා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වෙමින් තිබියදී මෙම පහරදීම සිදුව ඇත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ අතර, ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාසලට අදාළ යම් මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම පහරදීමට මුල් වී ඇති බවයි. ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුර මව්පියන් පිරිසක් විදුහල්පතිවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරත වී ඇති අතර, එය පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර මව්පියන් පිරිස අද (23) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ප්‍රධානියෙකුට රාජකාරී අවස්ථාවකදී පහරදීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කරයි.














