ජපානයේ ඔසාකා නගරයේ කාර්යබහුල සාප්පු සංකීර්ණයක් අසලදී සිදුවූ පිහි ඇනුමකින් 17 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අද (15) දහවල් කාලයේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, ප්‍රහාරයට ලක්වූ තිදෙනාම 17 හැවිරිදි වියේ පසුවන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි සැකකරුවෙකු ජපන් ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔසාකා පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.















