ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශයට බලපා ඇති අතිශය ප්‍රබල ශීත සෘතු හිම කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 8,000කට අධික සංඛ්‍යාවක් අවලංගු වීමට හෝ ප්‍රමාද වීමට ලක්ව තිබේ. මෙම දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග පද්ධති වැසී යාම, පාසල් නිවාඩු ලබා දීම සහ දෛනික ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව වාර්තා වේ. සඳුදා දිනය වන විට අමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වලින් 19%ක් පමණ අවලංගු වී තිබූ අතර, එය සාමාන්‍ය දිනක පවතින 1%ක අගය මෙන් කිහිප ගුණයක ඉහළ යාමකි.
හිම කුණාටුවේ බලපෑම දැඩිව එල්ල වූ ජෙට්බ්ලූ (JetBlue) ගුවන් සමාගම සිය ගුවන් ගමන්වලින් 80%ක්ම අවලංගු කර ඇති අතර, ලබන බදාදා දක්වා ගුවන් ගමන් 1,600ක් පමණ නතර කිරීමට ඔවුන්ට සිදුව ඇත. යුනයිටඩ් ඇඩලයින්ස් (United Airlines), ඩෙල්ටා (Delta) සහ ඇමරිකන් එයාර්ලයින්ස් (American Airlines) යන සමාගම් ද සිය මෙහෙයුම්වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා තිබේ. හිම පතනය අඩි 2.5ක් (සෙන්ටිමීටර 76කට අධික) දක්වා ඉහළ යාම හේතුවෙන් නිව්යෝර්ක්, බොස්ටන් සහ වොෂින්ටන් වැනි ප්‍රධාන නගරවල ගුවන් තොටුපළ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල විය.
ගුවන් ගමන්වලට අමතරව අමෙරිකාවේ ඇම්ට්‍රැක් (Amtrak) දුම්රිය සේවය ද නිව්යෝර්ක් සහ බොස්ටන් අතර ගමන් වාර රැසක් අවලංගු කර තිබේ. හිම කුණාටු සහිත තත්ත්වය ක්‍රමයෙන් සමනය වෙමින් පවතින බැවින් අඟහරුවාදා දිනයේ සිට ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට සමාගම් සැලසුම් කර ඇති නමුත්, මගී තදබදය යථා තත්ත්වයට පත් වීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙස ප්‍රාන්ත කිහිපයක බලධාරීන් රියදුරන්ට උපදෙස් දී ඇත.














