එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා (Sharjah) වෙරළට නාවික සැතපුම් 15ක් උතුරින් යාත්‍රා කරමින් තිබූ Bulk Carrier වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරගනිමින් අද (22) ප්‍රහාරයක් එල්ල වී තිබේ. එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) තහවුරු කරන පරිදි, හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් (Unknown projectile) නෞකාවට ඉතා සමීපයේ පතිත වී පිපිරීමට ලක්ව ඇත.
නෞකාවේ ප්‍රධාන නිලධාරියා (Master) විසින් මෙම අනතුර වාර්තා කර ඇති අතර, පිපිරීමෙන් නෞකාවට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවත් එහි සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව පසුවන බවත් තහවුරු කර ඇත. කලාපීය බලධාරීන් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පැය 48ක අවසන් නිවේදනයක් නිකුත් කර ඇති අතිශය උණුසුම් වාතාවරණයක් තුළය. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම ආරම්භ වූ දා සිට මේ දක්වා එම මුහුදු සීමාවේදී නෞකා 20කට අධික සංඛ්‍යාවකට මෙවැනි ප්‍රහාර එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














