විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “නෙවිල්” නැමැත්තාගේ මෙරට මෙහෙයුම් ජාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ කාන්තා සාමාජිකාවක පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශෂිකලා රාසලිංගම් නැමැති මෙම සැකකාරිය මරදාන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විටත් ඇය සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් විය. එහිදී හෙරෝයින් කිලෝ 1ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 800ක්, කුෂ් ග්‍රෑම් 300ක් සහ මත්පෙති 330ක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 850,000ක මුදලක්, මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක් සහ ජංගම දුරකථන 7ක් ද නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ඇයව දින 7ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට පිටකොටුව පොලීසියට අවසර ලැබී තිබේ.














