පසුගිය මාර්තු මස අගභාගයේදී ඉරාකයේ බෑග්ඩෑඩ් නුවර සවුදුන් (Saadoun) වීදියේදී පැහැරගනු ලැබූ ප්‍රවීණ අමෙරිකානු නිදහස් මාධ්‍යවේදිනී ෂෙලී කිට්ල්සන් අද (අප්‍රේල් 07) දින නිදහස් කර ඇති බව වාර්තා වේ. ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් වන කටයිබ් හෙස්බුල්ලා (Kataib Hezbollah) සංවිධානය විසින් ඇයව නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
වසර 20කට අධික කාලයක් ඉරාකය, සිරියාව සහ ඇෆ්ගනිස්ථානය වැනි ගැටුම් පවතින කලාපවල සිට පුවත් වාර්තා කළ 49 හැවිරිදි කිට්ල්සන් මහත්මිය නිදහස් කිරීමෙන් පසු වහාම ඉරාකයෙන් පිටව යා යුතු බවට එම සන්නද්ධ කණ්ඩායම කොන්දේසියක් පනවා ඇත. ඉරාකයේ නික්ම යන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානිගේ “දේශප්‍රේමී ස්ථාවරයන් අගය කිරීමක්” ලෙස මෙම නිදහස් කිරීම සිදු කළ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
රොයිටර් පුවත් සේවයට අනුව, ඇයව නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරාක බලධාරීන් භාරයේ පසුවූ එම සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද නිදහස් කිරීමට එකඟතාවයක් ඇති වී තිබේ. ෂෙලී කිට්ල්සන් පැහැරගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඉරාක බුද්ධි අංශ මීට පෙර කටයිබ් හෙස්බුල්ලා සංවිධානය වෙත සෘජුවම චෝදනා එල්ල කර තිබිණි. ඇය නිදහස් වීමත් සමඟ ආරක්ෂිතව සිය මව්බිම බලා යාමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters සහ AP පුවත් සේවා ඇසුරින්















