ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ශිවමොග්ගා (Shivamogga) දිස්ත්‍රික්කයේ පිහිටි ත්‍යාවරෙකොප්පා කොටි සහ සිංහ සෆාරි උද්‍යානයේදී (Tyavarekoppa Safari) සිදුවූ ජලහීප්පෝ ප්‍රහාරයකින් 27 හැවිරිදි පශු වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. පීඩාවට පත් පශු වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකාවක වූ වෛද්‍ය සමීක්ෂා රෙඩ්ඩි (Dr. Sameeksha Reddy) පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ මෙම අනතුරට මුහුණ දී ඇති අතර බරපතල තුවාල ලැබූ ඇය ඊයේ (20) අලුයම රෝහල්ගතව සිටියදී මියගොස් ඇත.
අනතුර සිදුවූ ආකාරය පිළිබඳව වන සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ පැටවෙකු බිහි කිරීමට ආසන්නව සිටි ජලහීප්පෝ දෙනකගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇය අදාළ සත්ව කුටීරය වෙත ගොස් ඇති බවයි. එහිදී ඉණිමඟකින් ඇද වැටීමත් සමඟ කුපිත වූ සත්වයා ඇයට දරුණු ලෙස පහර දී ඇති අතර ඇයට බරපතල අභ්‍යන්තර තුවාල සහ අධික රුධිර වහනයක් සිදුව ඇති බව වාර්තා වේ. මාසයකට අධික කාලයක් සේවය කළ ඇය මෙලෙස අනතුරට ලක්වීම පිළිබඳව ඇයගේ ඥාතීන් පවසන්නේ පුහුණු මට්ටමේ සිටි නිලධාරිනියක මෙවැනි භයානක සත්වයෙකු අසලට තනිවම යැවීම බලධාරීන් අතින් සිදුවූ බරපතල වරදක් බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කර්නාටක වන අමාත්‍ය ඊශ්වර් ඛණ්ඩ්‍රේ මහතා වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති අතර දින හතක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. සත්වෝද්‍යාන තුළ පවතින සම්මත මෙහෙයුම් පටිපාටීන් (SOPs) නිසි පරිදි ක්‍රියාත්මක වී තිබේද යන්න මෙහිදී සොයා බැලෙන අතර මියගිය වෛද්‍යවරියගේ පවුලේ අයට වන්දි ගෙවීමට ද රජය තීරණය කර ඇත. සත්වෝද්‍යාන තුළ සේවය කරන කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව මෙම සිදුවීමත් සමඟ නැවත වරක් දැඩි කතාබහක් ඇති වී තිබේ.














