සුනඛයන් නිවසේ තනි කර යන විට ඔවුන්ගේ කාන්සිය සහ තනිකම මකා දැමීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන සහ රූපවාහිනී නාලිකා වර්තමානයේ ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. ඉතාලියේ බොලොඥ්ඥා හි වෙසෙන ගුවන් නියමුවෙකු වන ලූකා කරානෝ විසින් ආරම්භ කරන ලද “Siesta Dog TV” යූටියුබ් නාලිකාව මෙහි එක් සුවිශේෂී උදාහරණයකි. තම සුනඛයා වන ලුනා වෙනුවෙන් ඇරඹි මෙම නාලිකාවේ ඇති ඇතැම් වීඩියෝ මේ වන විට මිලියන 3.5කට අධික ප්‍රමාණයක් නරඹා ඇත. සුනඛයන්ට වඩාත් හොඳින් පෙනෙන වර්ණ භාවිතා කරමින් සහ ඔවුන් සැහැල්ලු කිරීම සඳහා මෘදු සම්භාව්‍ය සංගීතය මුසු කරමින් මෙම දර්ශන සකස් කර තිබේ. පැය 10ක් දක්වා දිවෙන සජීවිකරණ දර්ශන හරහා සුනඛයන්ට තනිකමක් නොදැනෙන පරිදි පසුබිම් දර්ශන මවා පෑම මෙහි අරමුණයි.
බොහෝ සුනඛ හිමිකරුවන් පවසන්නේ තම සුරතලුන් තනි කර යන අවස්ථාවලදී මෙවැනි වීඩියෝ ක්‍රියාත්මක කර තැබීමෙන් ඔවුන් වඩාත් සන්සුන්ව සිටින බවයි. මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝකයේ අවධානය දේශපාලනික සහ ආර්ථික කරුණු වෙත යොමුව පවතින පසුබිමක වුවද, සුරතල් සතුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් තාක්ෂණය භාවිතා කිරීමේ නව ප්‍රවණතා මෙලෙස වර්ධනය වෙමින් පවතී. කෙසේ වෙතත්, විද්‍යාත්මකව සුනඛයන් සැබවින්ම රූපවාහිනී තිරය දෙස බලා සිටින්නේද යන්න පිළිබඳව තවමත් විවිධ මත පවතී.














