RISC-V තාක්ෂණය මත පදනම් වූ විවෘත මූලාශ්‍ර (Open-source) පරිගණක චිප් සැලසුම් කරන SiFive සමාගම, සිය ‘Series G’ ආයෝජන වටය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක දැවැන්ත අරමුදලක් රැස් කිරීමට සමත්ව ඇති බව වාර්තා වේ. මෙම නව ආයෝජනයත් සමඟ සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 3.65 දක්වා ඉහළ ගොස් තිබේ. Atreides Management ආයතනය මෙහි ප්‍රධාන ආයෝජකයා ලෙස කටයුතු කළ අතර, ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදකයා වන Nvidia සහ Apollo යන ආයතන ද මෙයට දායක වී ඇත. මේ දක්වා SiFive සමාගම ලබාගෙන ඇති මුළු බාහිර ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 760 ඉක්මවයි.
2015 වසරේදී RISC-V තාක්ෂණයේ නිර්මාණකරුවන් විසින්ම ආරම්භ කරන ලද SiFive සමාගම, පාරිභෝගිකයන්ට පහසුවෙන් භාවිත කළ හැකි RISC-V ප්‍රොසෙසර් සැලසුම් (Processor designs) අලෙවි කරනු ලබයි. ඔවුන් සතු නිෂ්පාදන එකතුවට මෝටර් රථ, බැටරි මගින් ක්‍රියාත්මක වන උපාංග සහ දත්ත මධ්‍යස්ථාන (Data centres) සඳහා වන CPU සැලසුම් 12කට වඩා ඇතුළත් වේ. ඔවුන්ගේ දියුණුම සැලසුම වන ‘Performance P870-D’ හරහා කෝර් (Cores) 256ක් දක්වා වූ බලවත් සර්වර් ප්‍රොසෙසරයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතී.
SiFive හි ප්‍රධාන විධායක නිලධාරී පැට්‍රික් ලිට්ල් (Patrick Little) පවසන්නේ, දත්ත මධ්‍යස්ථාන සඳහා විවෘත ප්‍රමිතියෙන් යුත් විකල්ප තාක්ෂණයන් හඳුන්වා දෙන ලෙස ප්‍රමුඛ පෙළේ ක්ලවුඩ් සේවා සපයන්නන්ගෙන් (Hyperscalers) විශාල ඉල්ලුමක් පවතින බවයි. විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය පරිදි සකස් කළ හැකි (Customisable) CPU විසඳුම් සඳහා වෙළෙඳපොළ තුළ ස්ථාවර ඉල්ලුමක් පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම නව ආයෝජනය හරහා සිය තාක්ෂණික මෙහෙයුම් වේගවත් කිරීමට සහ නවීනතම චිප් සැලසුම් ලොවට හඳුන්වා දීමට සමාගම අපේක්ෂා කරයි.














