2026 වසරේ සිට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අලුතින්ම ඇතුළත් කරන ලද ‘තෙල් වළං ලිප තබන නැකැත’ අදට (අප්‍රේල් 05 වනදා ඉරිදා) යෙදී තිබෙනවා. ඒ අනුව අද පූර්වභාග 11.08 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තෙල් වළං ලිප තැබීම සුදුසු බවයි සංස්කෘතික දෙපාර්තමේන්තුව නිකුත් කළ රාජ්‍ය අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
මෙහිදී අවුරුද්දට අවශ්‍ය සියලුම කැවිලි පෙවිලි සකස් නොකරන අතර, චාරිත්‍රානුකූලව කැවිලි පිසීමේ ආරම්භය පමණක් සනිටුහන් කරනු ලබනවා. විශේෂයෙන්ම ආස්මී වැනි කැවිලි වර්ග නිසි පදමට සකසා ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය වන බැවින්, පැරණි සම්ප්‍රදාය අනුව යමින් මෙලෙස අවුරුද්දට දින කිහිපයකට පෙර සිටම කැවිලි පිසීම ඇරඹීමට මෙම නැකත සකසා තිබෙනවා.
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී දේශබන්දු රවිශංඛ සේනානායක මහතා පෙන්වා දෙන්නේ ක්‍රි.ව. 1863 ට පෙර මෙරට මුද්‍රිත ලිත් සම්ප්‍රදාය ආරම්භ වීමට ප්‍රථම, ගම්වල සිටි නැකැත්කරුවන් සහ වෙද මහතුන් විසින් ප්‍රාදේශීය මට්ටමින් මෙවැනි නැකත් සකස් කළ බවයි. ඒ අනුව වසර ගණනාවකට පසු මෙම අර්ථවත් පැරණි චාරිත්‍රය යළිත් මෙවර රාජ්‍ය නැකැත් සීට්ටුවට එක් කර තිබෙනවා.














