මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ, ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත විධිමත් පරිදි නැකත් වේලාවන් නිකුත් කිරීමට රජය පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහතික විය. මහනුවරදී මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නැකත් කමිටුව සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳව අදාළ පාර්ශවයන් සමඟ මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි.
පෙර රජය සමයේ නැකත් කමිටුව විසුරුවා හැර තිබුණද, අමාත්‍යාංශය යටතේ සිටින ජෝතිෂ්‍යවේදීන් හරහා නිසි පරිදි නැකත් සීට්ටුව සකස් කිරීමට බාධාවක් නොවන බවත්, එළඹෙන සඳුදා (මාර්තු 16) විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර රාජ්‍ය තෙල් ගෑමේ උත්සවය මහනුවර ශ්‍රී නාථ දේවාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ජනතාවට නිවැරදි නැකත් වේලාවන් කඩිනමින් ලබා දීමට රජය ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.















