සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ රෝහල් කාර්ය මණ්ඩලය පැය 24 පුරාම සේවයේ නිරත වෙමින් ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලසීමට සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ අවුරුදු නිවාඩු සමයේ වුවද රෝහල් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
ගමන් බිමන්වල යෙදෙන විට මාර්ග දෙපස වෙළඳසැල්වලින් ආහාර ලබාගැනීමේදී එහි පිරිසිදුභාවය පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. වියළි කාලගුණය පවතින බැවින් පානීය ජලය සඳහා පිරිසිදු ජලය පමණක් භාවිතා කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම කුඩා ළමයින් ගිනිකෙළි සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වීමේදී වැඩිහිටියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.
පසුගිය සතිය තුළ රිය අනතුරු හේතුවෙන් ජීවිත 50ක් පමණ අහිමි වී ඇති බැවින්, අධික වේගයෙන් රිය ධාවනය නොකරන ලෙසත්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. තවද, අවුරුදු සමයේ ආහාර පරිභෝජන රටාව වෙනස් වන බැවින් නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් තම ඖෂධ නිසි පරිදි ලබා ගැනීමට වගබලා ගත යුතුය.















