පාසල් දරුවන්ගේ අධ්‍යාපන සහ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී සිසුන්ගේ ප්‍රවාහන සුරක්ෂිතතාව සහ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු රැසක් අනාවරණය විය. මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කෙරුණේ මේ වසර තුළ “සිසු සැරිය” බස් සේවා අලුතින් 200ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සැලසුම් අධ්‍යක්ෂ ආලෝකා කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, බස් හිමියන් දිරිමත් කිරීම සඳහා සිසු සැරිය බස් රථ වෙනුවෙන් ගෙවන මුදල රුපියල් 150 දක්වා ඉදිරියේදී ඉහළ නංවන බවයි. එමෙන්ම නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික ප්‍රදේශවල පාසල් දරුවන් වෙනුවෙන් වායු සමීකරණය කළ (A/C) සිසු සැරිය බස් රථ හඳුන්වා දීමට ද තීරණය කර තිබේ. බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අඛණ්ඩව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මීට සමගාමීව ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය ප්‍රකාශ කළේ, අමාත්‍යාංශයේ මූලිකම ප්‍රමුඛතාවය දරුවන්ගේ ආරක්ෂාව බවයි. ඒ අනුව ගමනාගමන කොමිසම ලබා දෙන උපදෙස් මත දෙමාපියන් ද දැනුවත් කරමින් මෙම ප්‍රවාහන සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යන බව ඇය පැවසුවාය. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති චන්ද්‍රපාල මහතා පෙන්වා දුන්නේ, තවදුරටත් සිසු සැරිය සේවාවන් අවශ්‍ය පාසල් පවතී නම්, විදුහල්පතිවරුන් විසින් සිසුන්ගේ නාමලේඛනයක් ද සහිතව ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවයි.
සාමාන්‍ය බස් රථ ගමන් කිරීමට අපහසු කඳුකර සහ දුෂ්කර ප්‍රදේශවල දරුවන් වෙනුවෙන් විකල්ප ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වා දීමට ද රජයේ අවධානය යොමු වී තිබේ. අදාළ පනත් සංශෝධනය කිරීම හරහා පාසල් සිසුන් ප්‍රවාහනය කරන පෞද්ගලික වාහන ද පූර්ණ නියාමනයකට ලක් කිරීමට නියමිතය. මෙමගින් දරුවන්ට වඩාත් සුරක්ෂිත සහ විශ්වසනීය ප්‍රවාහන පහසුකමක් සලසා දීම අමාත්‍යාංශයේ අරමුණයි.
















