ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුරු අතරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරක් සහ යතුරුපැදි අනතුරු කිහිපයක් ප්‍රධාන වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 54.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 62 සහ 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. වැලිකන්ද, මරදන්කඩවල ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වැලිකන්ද සහ රත්තොට පදිංචි 31 සහ 55 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට අමතරව, මොරවැව නාමල්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. උත්සව සමය තුළ මාර්ග අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් රිය පැදවීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.














