වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මහා පරිමාණ පිරමීඩ මුදල් වංචාවක නිරත වූ චීන ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය සමත්ව තිබේ. කොළඹ 05, ජාවත්ත පාර සහ දොන් කරෝලිස් පාර ප්‍රදේශවල පදිංචිව සිටි මෙම පිරිස වැටලීමට ලක් කර ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරකට අනුවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 40ත් අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.
වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ජාවාරම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක 23ක්, ජංගම දුරකථන 11ක්, රවුටර් 07ක් සහ හඬ පරිවර්තන යන්ත්‍ර (Voice Translators) 09ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව, ඔවුන් රැඳී සිටි ස්ථානයේ තිබී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 3,280ක් ද සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. මොවුන් විදේශීය රටවල පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් විවිධ උපක්‍රම හරහා මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම චීන ජාතිකයන් පිරිස අදාළ ස්ථානවලට පදිංචියට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙර වන අතර, ඔවුන්ගේ සැකකටයුතු හැසිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ ද අවධානය යොමුව තිබුණි. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. සුජීව කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම මෙහෙයවා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.













