ඇල්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික පාසලක සිසුන් පිරිසක් හදිසියේ ඇති වූ සමේ කැසීමේ අසාත්මිකතාවයක් හේතුවෙන් අද (26) ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඇල්පිටිය පොලිසිය සඳහන් කරන පරිදි මෙලෙස රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙකි.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම විදුහලේ එකම ශාලාවක පවත්වාගෙන ගිය පන්ති තුනක සිසුන් මෙම තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. ඔවුන්ගේ ශරීරයේ යම් විෂ සහිත සතෙකු හෝ කිසියම් විෂ ද්‍රව්‍යයක් ස්පර්ශ වීම නිසා මෙම ආසාදනය හටගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සහ පොලිසිය තහවුරු කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය පොලිසිය විසින් සිදු කරන අතර, අසාත්මිකතාවයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශවල සහාය ද ලබා ගැනීමට නියමිතය. පාසල් පරිශ්‍රය තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ සාධක පිළිබඳව විදුහල් බලධාරීන්ගෙන් ද කරුණු විමසීමට පියවර ගෙන තිබේ.
















