ශ්‍රී ලංකාවට දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත් දෙනා ලබන අප්‍රේල් 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් කෙරුණු පිරිස අතර සමගි ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයෙකු වූ වසන්ත පුෂ්පකුමාර ඇතුළු තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඇතුළත් වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ වන විට රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි. එමෙන්ම අදාළ ධීවර යාත්‍රාවේ තිබී හමු වූ GPS යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස ද අධිකරණය මෙහිදී නියම කළේය. සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් ඔවුන් නිදහස් නොකරන ලෙස විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා පිළිගත්තේය.
නාවික හමුදාව විසින් මීට පෙර සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබුණි. වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත් අසලංක, නුවන් පුෂ්ප කුමාර, නිමල් ප්‍රනාන්දු, මිල්බන් ද සිල්වා සහ දිනුෂ රුවන් කුමාර යන සෙසු සැකකරුවන් ද එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.














