ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අධ්‍යක්ෂ ෂාමින්ද්‍ර රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි, එයාර් බස් (Airbus) අල්ලස් සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (19) අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරුවන් දෙදෙනාම මේ වන විට විදේශගතව සිටින අතර, ප්‍රකාශ ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔවුන් එය පැහැර හැර ඇති බව සඳහන් වේ. අදාළ අල්ලස් මුදල් ෂාමින්ද්‍ර රාජපක්ෂට අයත් ගිණුමකට බැර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, එම ඉල්ලීමට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නඩුව ලබන මාර්තු 24 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














