ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – ජර්මානු ව්‍යාපාරික කවුන්සිලය (SLGBC) විසින් සංවිධානය කරන ලද විශේෂ උදෑසන ආහාර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී “ශ්‍රී ලංකාව: ඉදිරි මාවත” යන තේමාව යටතේ මෙරට වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය සහ අනාගත ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ජර්මනිය ලබා දුන් සහයෝගය මෙහිදී අගය කළ අධිපතිවරයා, ඉදිරි වසරවලදී ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවට ව්‍යාපාරික ප්‍රජාවට සහතික විය.
මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ වත්මන් අඩු පොලී අනුපාත පරිසරය සහ ස්ථාවර උද්ධමන මට්ටම ව්‍යාපාරික ආයෝජන සඳහා ඉතා හිතකර අවස්ථාවක් නිර්මාණය කර ඇති බවයි. විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණවල වර්ධනය සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ නිදහස් සේවකයන්ගේ (Freelancers) ඉපැයීම් ඉහළ යාම මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එල්ල කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් නියමිත පරිදි ක්‍රියාත්මක වන බවත්, භූ දේශපාලනික අභියෝග සහ කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණික ප්‍රවණතාවලට අනුවර්තනය වෙමින් ශ්‍රී ලංකාව තරඟකාරී ලෙස ඉදිරියට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















