ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින ඕලන්ද යුගයට අයත් වටිනා ලියකියවිලි ඩිජිටල්කරණය කිරීම සඳහා නෙදර්ලන්ත රජයේ පූර්ණ සහාය ලබා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. පැරණි ඕලන්ද භාෂාවෙන් ලියැවුණු, මීටර් 300ක් පමණ දිග ප්‍රමාණයකින් යුත් මෙම ලේඛන සමූහය ඩිජිටල්කරණය කිරීම හරහා අපේ රටේ ඉතිහාසය සම්බන්ධ ඇතැම් කරුණු නිවැරදිව තේරුම් ගැනීමට මෙන්ම දෙරට අතර පැවති ඓතිහාසික සබඳතා පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මග පෑදෙනු ඇත.
මෙම ව්‍යාපෘතියේ වැදගත්ම අංගය වන්නේ ලේඛන ඩිජිටල් කිරීමෙන් පසු ඒවා මාර්ගගත (Online) ක්‍රමයට ඕනෑම අයෙකුට පරිශීලනය කිරීමට අවස්ථාව උදාවීමයි. ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ලන්දේසි බලකොටු 18ක් ඇතුළු පුරාවිද්‍යාත්මක උරුමයන් රැක ගැනීමටත්, අතීත තොරතුරු සුරක්ෂිත කර අනාගත පරපුරට දායාද කිරීමටත් නෙදර්ලන්තය ලබා දෙන මෙම තාක්ෂණික දායකත්වය බෙහෙවින් වැදගත් වේ. ඓතිහාසික උරුමයන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළට ද මෙය විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













