හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම ඇමෙරිකාවට සෘජුව බලනොපාන බවත්, තමන් එහි රැඳී සිටින්නේ නේටෝ (NATO) සංවිධානය සහ යුරෝපය ආරක්ෂා කිරීමට බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (2026 මාර්තු 27) ප්‍රකාශ කළේය. ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර අප්‍රේල් 06 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, ඉරානය සමඟ පවතින යුද්ධයේදී යුරෝපා මිත්‍ර රටවල් ඇමෙරිකාවට ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදෙන බවයි. “න්‍යායාත්මකව ගත් කල මෙය අපට බලපාන්නේ නැහැ, අපට විශාල සාගරයක් තිබෙනවා. නමුත් අප එහි සිටින්නේ රුසියාවෙන් යුරෝපය ආරක්ෂා කිරීමටයි. ඔවුන් අපව ආරක්ෂා කිරීමට එහි නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බවට ට්‍රම්ප් කරන ප්‍රකාශ ඉරාන රජය ප්‍රතික්ෂේප කර ඇති අතර, මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතී. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති සැපයුම අඩාල වීම ලෝක වෙළඳපොළට දැඩි ලෙස බලපෑ හැකි වුවද, ඇමෙරිකාව සතු බලශක්ති ස්වාධීනත්වය හේතුවෙන් තමන්ට ඉන් ගැටලුවක් නොවන බව ට්‍රම්ප් මෙහිදී ඇඟවුම් කළේය.















