ඉදිරි උත්සව සමය ඉලක්ක කරගනිමින් අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය සහ දත්ත වංචාවන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මහජනතාවට දැනුම් දෙයි. විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම වෙසක් සහ පොසොන් උත්සව සමයන්හිදී මෙවැනි වංචා ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව එම සංසදය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ ව්‍යාජ වට්ටම්, තෑගි මුදල්, විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් හෝ “ඩේටා දන්සල්” වැනි විවිධ නාමයන් යටතේ පැමිණෙන ලින්ක් (Links) මඟින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරා ගැනීමට ජාවාරම්කරුවන් උත්සාහ කරන බවයි.
මෙවැනි වංචාවලින් ආරක්ෂා වීම සඳහා සමාජ මාධ්‍ය හෝ කෙටි පණිවිඩ හරහා ලැබෙන සැකකටයුතු සහ නාඳුනන ලින්ක් වෙත පිවිසීමෙන් වළකින ලෙසත්, වෙළෙඳ දැන්වීම්වල ඇති දීමනා ලබා ගැනීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවි හරහා ඒවායේ විශ්වාසනීයත්වය පරීක්ෂා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ. එසේම ඔබගේ බැංකු ගිණුම් තොරතුරු, රහස් අංක (PIN) හෝ OTP කේත කිසිදු අන්තර්ජාල පෝරමයක් හරහා ලබා නොදීමට වගබලා ගන්නා ලෙසත්, යම් හෙයකින් වංචාවකට හසු වුවහොත් වහාම පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.














