ජාත්‍යන්තර අධිකරණය (ICJ) හමුවේ දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලයට එරෙහිව පවරා ඇති ජනසංහාරක නඩුවට මැදිහත් නොවීමට ස්ලොවේනියා රජය තීරණය කර තිබේ. මීට පෙර එම නඩුවට සහාය පළ කිරීමට කැමැත්තෙන් සිටි ස්ලොවේනියාව, අවසාන මොහොතේ මෙම තීරණය ගෙන ඇත්තේ එරට ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි අවදානම් සලකා බැලීමෙන් පසුව බව වාර්තා වේ.
ස්ලොවේනියාවේ සයිබර් ආරක්ෂණ පද්ධති (Cyber defence systems) බොහොමයක් ඊශ්‍රායල නිෂ්පාදිත ඒවා වීම නිසා මෙම නඩුවට එක්වීමෙන් එම පද්ධතිවල ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ. එසේම ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් සහ මැදපෙරදිග සිටින ස්ලොවේනියානු ජාතිකයන් ඉවත් කිරීමේ කටයුතුවලදී ඊශ්‍රායල බලධාරීන් දක්වන සහයෝගය අහිමි වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.
ස්ලොවේනියා විදේශ අමාත්‍ය ටැන්ජා ෆජොන් (Tanja Fajon) ප්‍රකාශ කර ඇත්තේ ලෝක සුපිරි බලවතුන්ගෙන් එල්ල වන බාහිර බලපෑම් ද මෙම තීරණයට යම් මට්ටමකින් දායක වී ඇති බවයි. රජයේ මෙම තීරණය පිළිබඳව තමා කනගාටු වන බවත්, කැබිනට් මණ්ඩලය තුළ මේ පිළිබඳව දැඩි සංවාදයක් ඇති වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පලස්තීන විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහි තම ස්ථාවරය වෙනස් නොවන බවත්, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය අයිතිවාසිකම් වෙනුවෙන් ස්ලොවේනියාව දිගටම පෙනී සිටින බවත් එරට විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.














