ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සිය දිවයින පුරා පවතින බස් රථ සේවාවන් නවීකරණය කිරීම සඳහා “විවෘත ස්වයංක්‍රීය ගාස්තු අය කිරීමේ” (Open Loop Automated Fare Collection) පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක බස් රථ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලත් දේශීය ආයතනවලින් ලංගමය මේ වන විට යෝජනා කැඳවා තිබේ.
මෙම නව පද්ධතිය හරහා ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද, අත්වාරුවෙන් ක්‍රියාත්මක වන ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර (POS machines), ආසන වෙන්කිරීමේ පහසුකම් සහ මුදල් ආපසු ගෙවීමේ ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීමට නියමිතය. රජයේ බස් සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි.














