මත්ද්‍රව්‍ය භාවිත කරමින් සේවයේ නිරත වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සේවකයන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන ඕනෑම සේවකයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇත.
මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම මෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ නිරත වීම මගින් මගී ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට ලක්වන බව හඳුනාගෙන ඇති බැවින් මෙම දැඩි තීරණය ගත් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම වැඩපිළිවෙළ යටතේ ලංගම සේවකයන් හදිසි පරීක්ෂාවන්ට ලක් කිරීමටත්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සැකකෙරෙන සේවකයන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් නියමිතය. එහිදී වරදකරුවන් වන සේවකයන්ට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව සේවය අත්හිටුවීමට සහ විනයානුකූල පියවර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය සෘජුවම මැදිහත් වනු ඇත.














