බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වඩාත්ම කම්පන සහගත අපරාධයක් ලෙස සැලකෙන ‘සෝහාම්’ (Soham) ළමා ඝාතන සම්බන්ධයෙන් වරදකරු වූ ඉයන් හන්ට්ලි (Ian Huntley), බන්ධනාගාරය තුළදී එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා මියගොස් තිබේ. 52 හැවිරිදි හන්ට්ලි, ඊසානදිග එංගලන්තයේ ෆ්‍රෑන්ක්ලන්ඩ් (Frankland) දැඩි ආරක්ෂිත බන්ධනාගාරයේ වැඩපොළකදී වෙනත් රැඳවියෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පසුගිය පෙබරවාරි 26 වනදාය.
ලෝහ දණ්ඩකින් හිසට එල්ල වූ බරපතල ප්‍රහාරය හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර ආධාරයෙන් ජීවිතය පවත්වාගෙන ගිය අතර, දින කිහිපයකට පසු ඔහු මෙලෙස මියගොස් ඇති බව බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යාංශය තහවුරු කළේය. 2002 වසරේ අගෝස්තු මාසයේදී එවකට 10 හැවිරිදි වියේ පසුවූ හොලි වේල්ස් සහ ජෙසිකා චැප්මන් යන දැරියන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හන්ට්ලිට වසර 40ක සිරදඬුවමක් නියම වී තිබුණි. මුළු මහත් බ්‍රිතාන්‍යයම කම්පනයට පත්කළ මෙම සිද්ධිය එවකට ජාත්‍යන්තර මාධ්‍යවල ද ප්‍රධාන මාතෘකාවක් විය.
බන්ධනාගාරය තුළදී හන්ට්ලිට මීට පෙර ද කිහිප වතාවක්ම ප්‍රහාර එල්ල වී ඇති අතර, 2010 වසරේදී වෙනත් රැඳවියෙකු විසින් ඔහුගේ උගුර කැපීමට ද උත්සාහ කර තිබුණි. මෙවර ප්‍රහාරය එල්ල කර ඇත්තේ 43 හැවිරිදි ඇන්තනි රසල් නමැති මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින රැඳවියෙකු බව වාර්තා වේ. හන්ට්ලිගේ මරණය සම්බන්ධයෙන් ඩර්හැම් පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ සැකකරුට එරෙහිව නව චෝදනා ගොනු කිරීමට නියමිතය.
හන්ට්ලිගේ සහකාරිය වූ මැක්සින් කාර් ද මෙම අපරාධය සැඟවීමට සහාය වීම නිසා සිරදඬුවම් ලැබූ අතර ඇය මේ වන විට නව අනන්‍යතාවයක් යටතේ නිදහසේ ජීවත් වේ. මෙම ඝාතනයත් සමඟ බ්‍රිතාන්‍යයේ ළමා ආරක්ෂණ නීති සහ පාසල් සේවකයින් බඳවා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේද දැඩි ලෙස සංශෝධනය කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි.














