පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ලඩාක් කලාපයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු අත්අඩංගුවට ගෙන සිටි ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වැන්චුක් (Sonam Wangchuk) සෙනසුරාදා ජෝද්පූර් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ. ඉන්දීය මධ්‍යම රජය විසින් ඔහුට එරෙහිව පනවා තිබූ දැඩි “ජාතික ආරක්ෂක පනත” (NSA) යටතේ වූ රැඳවුම් නියෝග ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම නිදහස් කිරීම සිදු විය.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පවතින තත්ත්වයන් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව වැන්චුක් මහතාගේ රැඳවුම් කාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට තීරණය කළ බවයි. මාස හයක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටි ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව සිය අවධානය යොමු කර ඇත.















