පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති ‘ප්‍රජා ශක්ති’ නියෝජිත හමුවකට එක්වෙමින් සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා සඳහන් කළේ මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වුවද, පසුගිය කාලසීමාව තුළ මෙරට ගොඩනැගූ ආර්ථික සහ දේශපාලනික ස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට එම බලපෑම් අවම කරගැනීමට හැකි වූ බවයි. වත්මන් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හරහා රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් වීම මෙවැනි ගෝලීය අර්බුද හමුවේ නොසැලී සිටීමට ශක්තියක් වූ බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම හමුවේදී මෙරට පවතින දිළිඳුකම පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු අනාවරණය කළ අතර, සමස්ත ජනගහනයෙන් 25%ක් තවමත් දිළිඳුකමින් පීඩා විඳින බවත් ඉන් 80%කට ආසන්න පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔහු පෙන්වා දුන්නේය. දිළිඳුකම පිටුදැකීම සඳහා පොදු විසඳුම් වෙනුවට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවතින සුවිශේෂී දුෂ්කරතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමේ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු මෙහිදී පැහැදිලි කළේය.
ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සමුළුවේදී ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ මැදිහත්වීම සංවර්ධන සැලසුම් සඳහා අත්‍යවශ්‍ය බව ද අවධාරණය කෙරිණි. යුදමය තත්ත්වය මධ්‍යයේ වුවද මෙරට දිළිඳු ජනතාවගේ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














