දින 36ක් වයසැති බිළිඳෙකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ දකුණු කොරියානු කාන්තාවකට සහ වෛද්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව එරට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. සිසේරියන් සැත්කමක් මගින් ජීවතුන් අතර සිටියදී උපත ලැබූ මෙම බිළිඳා ශීතකරණයක බහා මරා දමා ඇති බවට නඩු විභාගයේදී අනාවරණය විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට වසර හයක සහ සැත්කම සිදුකළ වෛද්‍යවරයාට වසර හතරක සිරදඬුවම් නියම වූ අතර, ‘ක්වොන්’ නැමති 20 හැවිරිදි මවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක් සහ පැය 200ක ප්‍රජා සේවයක් නියම විය. 2024 වසරේදී ඇය සිය ගැබ්ගැනීම අවසන් කළ ආකාරය පිළිබඳව යූටියුබ් (YouTube) වීඩියෝවක් පළ කිරීමත් සමඟ මෙම සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.
මෙම නඩු තීන්දුවත් සමඟ දකුණු කොරියාවේ ගබ්සා නීති සම්බන්ධයෙන් පවතින නෛතික අවිනිශ්චිතතාවය යළිත් කරළියට පැමිණ ඇත. 2019 වසරේදී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ගබ්සා තහනම ඉවත් කළද, ඒ වෙනුවට නව නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වීම නිසා මේ වන විට දකුණු කොරියාවේ ගබ්සාව සම්බන්ධයෙන් නිසි නියාමනයක් ක්‍රියාත්මක නොවේ.
නඩු විභාගයේදී මව ප්‍රකාශ කළේ තමාට ස්ථිර ආදායමක් නොමැති වීම සහ ගර්භණී සමයේ මත්පැන් හා දුම්වැටි භාවිත කළ බැවින් දරුවා ආබාධ සහිතව උපත ලැබිය හැකි යැයි බියෙන් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, දරුවා නිරෝගීව සිටි බවත් උපතින් පසු මරා දමා වෛද්‍ය වාර්තා පවා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් අධිකරණයේදී සනාථ විය.













