දකුණු පළාත් තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක (3 වන ශ්‍රේණිය) සහ තාක්ෂණ සහායක කෘෂි ව්‍යාප්ති (3 වන ශ්‍රේණිය) යන තනතුරුවල පවතින පුරප්පාඩු වෙනුවෙන් නව පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (අප්‍රේල් 07) ගාල්ල, දක්ෂිණපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. විවෘත තරග විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් ඉහළම දක්ෂතා දැක්වූ සුදුසුකම්ලාභීන් පිරිසක් සඳහා මෙලෙස පත්වීම් ලිපි පිරිනමන ලදී.
දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත සමරවීර, ටී. කේ. ජයසුන්දර සහ අතුල වෙළඳගොඩ යන මහත්වරුන් ද එක්ව සිටියහ. මෙම නව පත්වීම්ලාභීන් පත් කිරීම හරහා දකුණු පළාතේ කෘෂිකාර්මික කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ සේවාවන් කඩිනමින් ලබා දීමටත් රජය අපේක්ෂා කරයි.
පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මානව සම්පත ශක්තිමත් කිරීම මඟින් කලාපීය ආර්ථිකය නඟාසිටුවීම මෙම බඳවා ගැනීම්වල මූලික අරමුණ වී තිබේ. අදාළ නිලධාරීන් ඉදිරියේදී දකුණු පළාතේ විවිධ කෘෂිකර්ම සේවා මධ්‍යස්ථාන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.
















