ගොවීන්ගේ වී අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මඟින් වී ගබඩා මධ්‍යස්ථාන 18ක් විවෘත කර ඇති බව එහි ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි. මේ වන විටත් ගොවීන්ගෙන් වී කිලෝ දසදහසක් පමණ මිලදී ගෙන ඇති අතර, අස්වනු නෙළීම වේගවත් වීමත් සමඟ ඉදිරියේදී විශාල වී තොගයක් මණ්ඩලය වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රජයේ නියමිත මිල ගණන් අනුව කැකුළු වී කිලෝවක් රුපියල් 120කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 130කට මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. පසුගිය කන්නයේදී දකුණු පළාතෙන් වී කිලෝ ලක්ෂ 30ක් මිලදී ගෙන ඇති අතර එම තොග ද මේ වන විට සුරක්ෂිතව ගබඩා කර ඇත. වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලබන්නේ නිසි ලෙස වියළන ලද වී පමණක් බව කළමනාකාරවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් අස්වනු නෙළීමට සහ වී වියළා ගැනීමට බාධා එල්ල වී ඇති බව ගොවීහු පෙන්වා දෙති. මේ හේතුවෙන් පෞද්ගලික මෝල් හිමියන් කුඹුරේදීම තෙත වී කිලෝවක් රුපියල් 85ක් වැනි අඩු මිලකට මිලදී ගන්නා බවත්, එම මිල තමන්ට ප්‍රමාණවත් නොවන බවත් ගොවීහු මැසිවිලි නගති. මේ අතර වෙළෙඳපොළේ සහල් මිල ද යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.















