එලොන් මස්ක්ගේ ‘SpaceX’ සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ඉදිරි දින කිහිපය තුළ අයදුම්පත් යොමු කළ හැකි බවට පළ වූ වාර්තාත් සමඟ ලෝක කොටස් වෙළෙඳපොළේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අදාළ සමාගම්වල කොටස් මිල ඊයේ (25) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. SpaceX සමාගම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.75ක දැවැන්ත වටිනාකමකින් යුතුව වෙළෙඳපොළට පිවිසීමට සූදානම් වන අතර, මෙම කොටස් නිකුතුව හරහා ඩොලර් බිලියන 75කට වඩා වැඩි ප්‍රාග්ධනයක් රැස් කිරීමට අපේක්ෂා කරන බව ‘The Information’ තාක්ෂණික පුවත් සේවය වාර්තා කරයි.
මෙම පුවතත් සමඟ අනෙකුත් ප්‍රධාන අභ්‍යවකාශ සමාගම් රැසක කොටස් මිල සියයට 10 ඉක්මවා වර්ධනය වී ඇති අතර Firefly Aerospace සහ Rocket Lab යන සමාගම්වල කොටස් මිල සියයට 10කින් ද, Intuitive Machines සමාගම සියයට 15කින් ද, පෘථිවි ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Planet Labs සියයට 10කින් ද ඉහළ ගොස් ඇත. මීට අමතරව සැටලයිට් නිෂ්පාදන සමාගමක් වන Sidus Space සියයට 19ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළ අතර AST SpaceMobile කොටස් මිල ද සියයට 10කින් ඉහළ ගොස් තිබේ. SpaceX හි මෙම පියවර සාර්ථක වුවහොත් එය ලෝක ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළට පිවිසි විශාලතම කොටස් නිකුතුව (IPO) ලෙස වාර්තාගත වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.













